65 වන ජාතික නිදහස් දිනය අදට යෙදී තිබේ. එහි ප‍්‍රධාන උත්සවය මෙවර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත‍්‍රිකුණාමලයේ දී පැවැත්වෙයි.මේ නිමිත්තෙන් විවිධ පාර්ශ්ව සිය නිදහස් දින පණිවිඩ නිකුත් කර තිබේ.
ජනාධිපතිතුමාගේ නිදහස් දින පණිවිඩය
ජාතියේ ස්වෛරීභාවය වෙනුවෙන් අප‍්‍රමාණ කැපකිරීම් කළ ශ‍්‍රී ලංකා වාසී අප සැම 65 වන ජාතික නිදහස් දිනය සමරන්නේ මහත් අභිමානයෙන් යුතුව ය.
නිදහස සැබෑ ලෙසම අර්ථවත් කළ හැකි සංවර්ධන මඟකට ජාතිය අවතීර්ණව සිටියි. එය ඉතා දුෂ්කර වූත් අභියෝගාත්මක වූත් එකකි. එභෙත් ඉන් සැමට සාධාරණයත්, ජාතියට සමෘද්ධියත් ළඟා කෙරෙයි. ඔබටත් ඔබේ දරුවන්ටත් අනාගතය පිළිබඳ බියෙන් සැකෙන් තොරව සිතීමේ අවස්ථාව අද උදා වී තිබේ.
රටට එරෙහිව එන නොයෙක් දේශීය විදේශීය බලවේග පරාජය කිරීමට අප ස්ථිර ප‍්‍රතිපත්තියක සිට කටයුතු කර ඇත. නායකත්වයට අභියෝගාත්මක දුෂ්කර තත්ත්වයන් පැමිණිය ද මාතෘ භූමිය පාවා නොදී කටයුතු කිරීම අපගේ ප‍්‍රතිපත්තිය යි. ලාංකේය ජනතාව ලබා දෙන දැවැන්ත සහය එම ප‍්‍රතිපත්තියේ රැඳී සිටීමට අප ලැබූ මහත් ශක්තියකි.
ජාතීන් අතර පවතින සමගිය හා ආගමික සංහිඳියාව දේශයේ දියුණුව ඇති කිරීමේ ලා මහත් පිටුබලයකි. අප බෙදී වෙන් වූ කල්හි නොයෙක් සතුරු බලවේග ශක්තිමත් වී නිදහස අහිමි කරයි. සියලු ජාතීන් සමගිව නැගී සිටිනවිට රටට එරෙහි බලවේග පරාජය වී නිදහස තව තවත් ශක්තිමත් වෙයි. 65 වන ජාතික නිදහස් දිනය අප සමරන්නේ ජාතික සමගිය පිළිබඳ තිර අධිෂ්ඨානය හා කැපවීම ඇතිව ය.
ජාතික නිදහස ද දේශයේ ස්වෛරීභාවය ද රැක දීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දෑ හිතකාමී සැමට අපගේ ගෞරවය පුද කරන්නෙමු.
මහින්ද රාජපක්ෂ
මල්වතු පාර්ශවයේ මහනායක මාහිමිපාණන්වහන්සේගේ නිදහස් දින පණිවිඩය
ශ්‍රී ලංකාද්වීපය නිදහස දිනාගෙන සැට පස් වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන නිදහස් දින අනුස්මරණ මහෝත්සවයට සුභාශිර්වාදය පළ කරනුයේ බලවත් ප්‍රීතියෙනි.
රාජ්‍ය වර්ෂ 1815 වැන්නේ මාර්තු මස 02 වන දින මහනුවර ඓතිහාසික මඟුල් මඬුවේ දී අත්සන් තබන ලද ගිවිසුම තුළින් බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට සිරිලක භාරදීමෙන් අනතුරුව, සිංහලයන්ගේ නැති වී ගිය ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික, දේශපාලනික හා ආර්ථික යනාදී සියලු අංශයන්හි නිදහස් ස්වෛරීභාවය වර්ෂ 1948 වැන්නේ පෙබරවාරි මස 04 වන දින ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් නිදහස් කර ගැනීමට හැකි වූයේ නිකම්ම නොව, රාජ්‍ය වර්ෂ 1818 හා 1848 ජනතා කැරළි තුළින් මේ රටේ දහස් සංඛ්‍යාත ලොකු කුඩා ජනතාවගේ රුධිරය වගුරුවා ජීවිත දානය කිරීමෙන් හා ඉන් පසුව එක්සත්ව ඥානාන්විතව ගත් ක්‍රියාමාර්ග තුළිනි.
ඒ පීඩාකාරී පරාධීන යුගයේ නොයෙක් තාඩන පීඩන යටතේ ජීවත් වූවෝ නිදහසේ හා ස්වාධිපත්‍යයේ අගය මන සේ දැන සිටියහ. වර්තමාන බාල, තරුණ පරපුරට ඒ අතීතයේ ජීවත් වූ උදාර ජාතික වීරවරයන් ජීවිත පරිත්‍යාගයෙන් ඉටුකළ අනූපමේය ජාතික මෙහෙවර හා ශ්‍රී ලංකා ජාතික අභිමානය අවබෝධය කර දීම මෙම නිදහස් දිනය සැමරීමේ මූලික අරමුණ විය යුතුය.
සැබෑ නිදහස වඩාත් අර්ථවත් වන්නේ දේශපාලනික, ආර්ථික, සාමාජික වශයෙන් බාහිරව දිනාගන්නා නිදහස තුළින් පමණක් නොව, අධ්‍යාත්මික වශයෙන් දිනාගන්නා නිදහස තුළිනි. සිංහල බෞද්ධයන් බුදු දහම ඇසුරෙන් උරුම කරගත්තේ ඒ උතුම් අධ්‍යාත්මික නිදහසයි. විමුක්තියයි. එහෙත් බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් පසු අපේ ආගම දහම හා සාරධර්ම පිරිහී, ජීවන ක්‍රමය, අධ්‍යාපනය, අර්ථ ක්‍රමය, පාලන ක්‍රමය, සංස්කෘතිය අධිරාජ්‍යවාදී ග්‍රහණයට හසු වී එහි අනිටු විපාකවලින් තවමත් නොමිදී තිබීම නිසා රටේ සාමය, සමාදානය සුණු විසුණු වී, භේදබින්න වී යුද පිටියකට අවතීර්ණ වීමට පවා සිදු වී තිබේ. රටේ ප්‍රශ්න ගැන පැහැදිලි වැටහීමක්, අවබෝධයක් ඇතිව ජාතික, ආගමික ප්‍රශ්න හමුවේ අනවශ්‍ය බේදීම් හා ගැටලු ඇති නොකර ගෙන, පෞද්ගලික අභිලාෂයන්ගෙන් බැහැරව, සමඟි සම්පන්නව, එක්සත්ව, සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනගා ගැනීමට අධිෂ්ඨාන කර ගැනීමෙන් ශ්‍රී ලංකා අභිමානය ලොවට ප්‍රකාශ කළ හැකි වන්නේ ය.
අපට ලැබුණු නිදහස නිසි සේ භුක්ති විඳීමට නම් නිදහසේ බලාපොරොත්තු මැනවින් අවබෝධ කරගෙන අනාගත සංවර්ධන සැලසුම් සම්පාදනය කොට නිසි සේ ක්‍රියාත්මක කළ යුතුව ඇත. සැබෑ නිදහසකින් අපේක්ෂා කළ යුත්තේ රටේ සියලු වැසියන්ගේ දුක්ඛ දෝමනස්සයන් අඩු කරගෙන, සංතෘෂ්ටිය වැඩි කරගෙන නිදහස් නිවහල් ජාතියක් වශයෙන් ඉදිරියට ගමන් කිරීමය. රටේ ජාතික, ආගමික සමගිය තහවුරු නොකර ගත හොත් මනුෂ්‍යත්වය සුරක්ෂිත කොට, කවර හෝ සංවර්ධන කාර්යයක් සාර්ථක කරගත නොහැකිවනවා ඇත.
එබැවින් මෙරටෙහි ජීවත්වන සියලු ජනතාවම නිදහසේ නියම හරය පසක් කොට ගෙන, එක්සත්ව එක්සිත්ව කටයුතු කිරීමෙන් නියම ඵල නෙළා ගැනීමට මෙම සැට පස්වන නිදහස් දින සැමරුම් මහෝත්සව දිනයේ දී අධිෂ්ඨාන කරගත යුතුය.
තෙරුවන් සරණයි!!
කාදිනල් හිමිපාණන්ගේ නිදහස් සමරු දින පණිවුඩය
රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 65 වන නිදහස් දිනය උත්කර්ෂවත්ව සිදු කෙරුමට සියලු කටයුතු සූදානම් වන මොහොතක පණිවිඩය යොමු කරන්නේ ඉමහත් සතුටකිනි.
අප දේශය නිවහල්ව, ස්වාධීනව හා භෞමික අඛණ්ඩතාවකින් යුක්තව සියලු ජාතීන්ට එක පවුලක සොයුරු කැලක් සේ විමසුමට හෙළි පෙහෙලි කළ මඟ අදීන ජනතා පරමාධිපත්‍යයක සැබෑ පිවිතිරි කඩ ඉමක් වැනිය.
වහල් බවකින් නිවහල්ව, යුධ මානසිකත්වයකින් සාමයේ මාවතට පිළිපන්ව, සියලු භේද දුරින්ම දුරස් කොට එකම ධජයක සෙවණ ලබන දරු කැලක් සේ අත්වැල් බැඳ ගන්නට සිංහල, දමිල, මුස්ලිම්, බර්ගර් අපි කවුරුත් එකට රොද බැඳ ගනිමු.
ආගම් භේදවලින් තොරව සැබෑ අධ්‍යාත්මික ගැඹුරු පන්නරයක් අති අභීත සැදැහැවතුන් සේ එකිනෙකාගේ විශ්වාසයට ගරු කරමින් ජීවත් වන්නට මේ රම්‍ය දිවයින තුළ එක්සේසත් වෙමු.
අභ්‍යන්තර අර්බුදයන්හට ඉඩනොදී සහෝදරත්වයේ දෑත් දිගු කරමින් සාමය රජයන සමාජ තෝතැන්නක් බිහිකරමින් මේ 65 වන නිදහස් සමරුව තුළ උපන් මව්බිමට ආදරය කරන ජනතාවක් සේ එකට පෙළ ගැසෙන්නට අත්වැල් බැඳ ගනිමු. ඒ සඳහා රාජ්‍ය නායකයන් ඇතුළු සියලු රට වැසියනට අවැසි ශක්තිය ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි.
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ
කොළඹ අගරදගුරු